චීන ජනපති අද රුසියාවට..

ලෝක දේශපාලනයේ සුවිශේෂි සලකුණක් සටහන් කරමින් චීන ජනපති අද රුසියාවට..

by Sagarika Chathumali 20-03-2023 | 12:13 PM

COLOMBO (News1st): රුසියාව සහ චීනය පොදු අභියෝග සමග සටනක නිරතව  සිටින බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුටින් පවසයි. 

රුසියානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, චීන ජනාධිපති ෂී ජින් පින් අද (20) රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත පසුබිමකදියි. 

පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන  People's Daily Newspaper වෙත ලිපියක් ලියමින් රුසියානු ජනාධිපතිවරයා  ෂී ජින් පින්ගේ  එරට සංචාරය විස්තර කර ඇත්තේ, රුසියාව-චීන හවුල්කාරිත්වයේ විශේෂත්වය යළි තහවුරු කරන සුවිශේෂි සලකුණක් ලෙසයි.  

පුටින් සිය ලිපියෙන්  හොඳ පැරණි මිතුරා ලෙස චීන ජනාධිපතිවරයා හඳුන්වා දී තිබීම  ද විශේෂත්වයකි. 

යුක්‍රේන - රුසියා  යුද්ධය ආරම්භයේ සිට යුක්රේන දරුවන් රුසියාවට පිටුවහල් කිරීමේ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණ  රුසියානු ජනාධිපතිවරයා  අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු   රුසියාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා වන්නේ, චීන ජනාධිපති ෂී ජිං පින් ය.    

කෙසේ වෙතත් රුසියාව පවසන්නේ, චීනය හෝ රුසියාව සාමාජිකයින් නොවන ජාත්‍යන්තර අපරාධ අධිකරණ විසින් ගත් මෙම තීරණය නීත්‍යනුකූල නොවන සාහසික ක්‍රියාවක් බවයි.  

ක්‍රෙම්ලිනය පවසන්නේ, මෙම සංචාරයේදී දෙරට අතර නායකයින්  හවුල්කාරිත්වය සහ උපායමාර්ගික ක්‍රියාකාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු මෙන්ම ජාත්‍යන්තරව රුසියානු-චීන සහයෝගීතාව වැඩි කර ගැනීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම ද සිදු කරනු ඇති බවයි. 

මෙන්ම වැදගත් වන්නා වූ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට ද  අත්සන් තබනු ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.

රුසියානු ජනාධිපතිවරයා ඊයේ (19) පළමු වරට රුසියාව නීතිවිරෝධී ලෙස සිය භූමියට ඈඳාගත් යුක්‍රේනයට අයත්ව තිබූ Mariupol වරාය නගරයේ සංචාරයක නිරත වන්නේ, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය  තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව කිසිලෙසකින් නොසලකා හරින බව ලොවට ප්‍රදර්ශනය කරමිනි.