ලිස්ටීරියා බැක්ටීරියාව ලංකාවට අලුත් ද?

ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසැල්වලින් ලබාගත් සාම්පලවල ලිස්ටීරියා බැක්ටීරියාව තියෙනවා ද?

by Staff writer 18-03-2023 | 7:36 PM

COLOMBO (News 1st) - ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසැල්වලින් ලබාගත් සාම්පල 30ක, ලිස්ටීරියා බැක්ටීරියාව නොමැති බවට තහවුරු වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ, ශ්‍රී පාද උඩමළුව දක්වා වැටී ඇති මාර්ග තුනෙහිම වෙළෙඳසැල්වලින් ලබාගත් ආහාර හා ජල සාම්පල රැසක් ඊයේ (17) රාත්‍රීයේ පරීක්ෂාව සඳහා විද්‍යාගාර වෙත යොමු කළ බවයි.

ලිස්ටීරියා බැක්ටිරියාව ව්‍යාප්තිය පිළිබඳව අවදානමක් තිබේ ද?

රෝග ව්‍යාප්තිය පිළිබඳ මෙතෙක් අවදානමක් හට ගෙන නොමැති බව රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහප්පෙරුම මහත්මිය පැවසීය.

මෙතෙක් ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වීමෙන් එක් කාන්තාවක් මිය ගිය බවට තහවුරු වී තිබේ.

කාන්තාව මිය ගොස්, සති 2ත් 3ත් අතර කාල සීමාවක් තුළ තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළේ ය.

තිදෙනාටම පොදු කරුණක් වී තිබුණේ ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ නිරත වීමයි.

නමුත් ඔවුන් මියගොස් ඇත්තේ, ලිස්ටීරියා බැක්ටීරියාව අසාදනය වීමෙන් බව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

කෙසේ වෙතත්, මෙම රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් පුද්ගලයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත මේ වනවිට යොමු කර ඇති බව රත්නපුර සෞඛ්‍ය බලධාරියෙකු පැවසීය.

මේ අතර ලිස්ටීරියා බැක්ටීරියාව අසාදනය වූ බවට සැක කරන තවත් රෝගියෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.

ඔහුගෙන් ලබා ගත් සාම්පළවල වාර්තා එළඹෙන සඳුදා දිනයේදී ලැබෙන ඇතැයි වෛද්‍යවරුන් පවසයි.

ලිස්ටීරියා බැක්ටිරියාව ලංකාවට අලුත් ද ?

ලිස්ටීරියා බැක්ටීරියාව ශරීර ගතවීමෙන් රෝගාතුර වූවන් මීට පෙර අවස්ථා රැසකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

ලෝකයේ බොහෝ රටවල්වලත් රෝගීන් වාර්තා වන අතර මේ සඳහා ප්‍රතිජීව ඖෂධ පවා අද වන විටත් ලොව පුරා භාවිත වේ.

රෝගය වැළඳෙන පිරිස්වලින්, දැඩි අවදානමක් මතුවන්නේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින්, ගැබිනි මව්වරුන්, අලුත උපන් දරුවන් මෙන්ම දීර්ඝ කාලීන රෝග සඳහා ප්‍රථිකාර ලබන්නන්ටයි.

ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කියන්නෙ මොනවා ද?

ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණ වී ඇති පසුබිම, එහි සැබෑ තත්ත්වය කුමක් ද යන්න පිළිබඳව අප අවස්ථා රැසකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරියෙකුගෙන් විමසීමට උත්සාහ කළෙමු.

එහෙත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දුරකනයකට ඇමතුම් ලබාගත් සෑම අවස්ථාවකදීම ඊට ඔහු වාචික ප්‍රතිචාර නොදක්වා කෙටි පණිවුඩයක් පමණක් යොමු කළේ ය.

වසංගත රෝග විද්‍යා ඒකකගේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා ද සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එය ද සාර්ථක වූයේ නැත.

ජනතාවට දැඩි සංවේදී බවක් දැනෙන මෙවන් රෝගී තත්ත්වයන් පිළිබඳ කාරණා වසන් කිරීමෙන් සිදු වන්නේ ඒ පිළිබඳ විවිධ දුර්මත ප්‍රචාරය වී ඔවුන් අනවශ්‍ය කලබලයට පත්වීමයි.

ඒ පිළිබඳ වගකීමක් ඇති සෞඛ්‍ය අංශ මුනිවත රැකීම ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළීමක් නොවේ ද?