මීළඟ පොලිස්පති ගෞරවනීය අයෙකු විය යුතුයි..

මීළඟ පොලිස්පති කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

by Staff writer 18-03-2023 | 1:27 PM

COLOMBO (News 1st) – මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ආදර්ශමත් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කළ හැකි අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමිනි.

මේ මස 23 වැනි දාට පුරප්පාඩුවන පොලිස්පති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා පත් කිරීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් අවධාරණය කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ ගෙවුණු දශකය තුළ ස්වාධීන නොවීම, දේශපාලන මැදිහත්වීම්, මර්දනය, මිලේච්ඡ්ත්වය, මිනීමැරුම් හා වෘත්තීමයභාවයක් නොමැතිකම යන කරුණු ශ්‍රී ලංකේය ජනතාවට පොලීසිය කෙරෙහි විශ්වාසය බිඳවැටීමට හේතු වී ඇති බවයි. 

රටක පාලනයට, නීතිය ආරක්ෂා කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය අත්‍යවශ්‍ය කරුණක් බැවින් මූලික අයිතිවාසිකම් නඩුවකට, වෙනත් අපරාධ නඩුවකට හෝ කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වූ පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධුරය සඳහා නොසුදුසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ඔවුන් ජනාධිපතිවරයාට යැවු ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පොලිස්පතිවරයා ඇතුළු සෙසු මුලසුන දරන්නන්ගේ පත්වීම් ද ජනතා විශ්වාසය ගොඩනැගෙන පරිදි විදිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවයි.