දීපව්‍යාප්ත වර්ජනය තාවකාලිකව අවසන්

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ දීපව්‍යාප්ත වර්ජනය තාවකාලිකව අවසන්

by Staff writer 16-03-2023 | 6:20 AM

COLOMBO (News 1st) - රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47ක් එක්ව සිටියේ ය.

ඔවුන් පවසන්නේ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා පනවා ඇති උපයනවිට ගෙවීම් බද්ද ක්ෂේත්‍ර රැසක වෘත්තීකයින් දැඩි අර්බුදයකට පත් කර ඇති බවයි.

සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බැවින් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (16) උදෑසන 8.00ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 6.30ට තාවකාලිකව අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරු 7.00ට අවසන් කිරීමට තීරණය කර ඇතැයි වරාය ‍නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, විදුලි සේවකයින් ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජන ක්‍රියා මාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කළ බවයි. 

මේ අතර අද පෙරවරු 8.00 සිට සිට බැංකු සේවකයින් සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ ය.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට සහය පළ කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12ට අවසන් කළ බව තැපැල් එකාබද්ධ වෘත්තීය සමිති පෙරමු‍ණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවසන් කළ බව ලොකොමෙටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු කොන්තසිංහ මහතා පැවසීය.

මේ අතර සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද දහවල් රැස්වීමට නියමිතව තිබේ.