මුදලට විකිණෙන්න යන රටේ අධ්‍යාපනය

ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාඨමාලා මුදලට විකිණීමේ සූදානමක් -අන්තරේ කැඳවුම්කරු

by Staff writer 16-03-2023 | 4:45 PM

COLOMBO (News 1st) - මෙතෙක් නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යන කටයුතු සිදු කිරීමේ හැකියාව තිබූ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාඨමාලා මුදලට විකිණීමේ සූදානමක් ඇතැයි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

ඊයේ (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි  කැඳවුම්කරු වසන්ත මුදලිගේ  පැවසුවේ, ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීමට අදාළව නිකුත් කර ඇති  අයදුම්පත්‍රයට අනුව නවක සිසුන් පාඨමාලාව හැදැරීම සඳහා රු. දෙලක්ෂ විසිපන්දහසක මුදලක් ගෙවිය යුතු බවයි. 
  

''කලින් තිබුණ ගැසට් එක වෙනස් කරලා නවක ශිෂ්‍ය කණ්ඩායමට අදාළව ගපු ගැසට් එකේ මෙන්න මේ විදියට වෙනස් කරලා තියෙනවා. මේකෙ කියන්නේ අවම ගෙවීමකට යටත්වන ලෙස සිසුන් බඳවා ගනු ලැබේ. දැන් මේ ශිෂ්‍යයෝ ගන්න හදන්නෙ කඩේකට ද?  බෝල්ඩ් කරලා දාලා තියෙනවා. එකපාර දෙලක්ෂ විසිපන්දාහ ගෙවනවා නම්, ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා.. දැන් මේ අපි පොලේ බඩු ගන්න ගිහින් වගේ.  මේ කරන්න යන්නේ නිදහස් අධ්‍යාපන අයිතියටත් කෙළවන එක ''


රටේ නිදහස් අධ්‍යාපන පද්ධතියම මේ වනවිට අර්බුදයට ලක්ව ඇති බව සඳහන් කළ මුදලිගේ වැඩිදුරටත් කියා සිටියේ,  ආණ්ඩුව එකී අර්බුදයන්ට විසඳුම් සෙවීම පසෙකලා පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගා අධ්‍යාපනය විකිණීමේ ප්‍රයත්නයක නිරතව සිටින බවයි. 

''ආණ්ඩුව IMF ඉල්ලීම් ඉටු කරන්න, IMF සතුටු කරලා ඩොලර් බිලියන 2.9 ගන්න  දැන් මොකද කරන්නෙ,  මුළු රටටම පීඩනයට ලක්කරලා. IMF ඉල්ලීම්වලට අධ්‍යාපනය විකුණන්න දෙන්න බෑ''

මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා රජයේ රෝහල් හඳුනාගැනීමට කමිටුවක් පත්කරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් මුදලිගේ අවධාරණය කළේ, සායනික පුහුණු මගඩිය හරහා ගෙන ඒමට උත්සාහ කරන  පුද්ගලික විශ්වවිද්‍යාල වැඩපිළිවෙළට ඉඩ දිය නොහැකි බවයි. 

''අල්පෙනේත්තෙ ඉදන් ඩෝසරෙට යනකල් පිටරටින් ගෙනල්ලා කෑමට ගන්න පිටරටින් ගෙනල්ලා, ඔක්කොම පිටරටින් ගෙනල්ලා අධ්‍යාපනයට විතරක් කියනවා.. අම්මො මෙන්න ගොඩක් පිටරට යනවා.. ඒක නිසා පුද්ගලික විශ්වවිවද්‍යාල හදන්න ඕන කියලා ''

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාසල් , විශ්වවිද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අඩුපාඩුකම් නොබලා රජය සායනික පුහුණුව පිළිබඳ උනන්දුවක් දැක්වීම බරපතළ තත්ත්වයක් බවයි.