තවත් පළාත් 5ක වෛද්‍යවරු වර්ජනයේ

බදු සංශෝධනවලට එරෙහිව තවත් පළාත් 5ක වෛද්‍යවරු වර්ජනයේ

by Staff writer 14-03-2023 | 12:42 PM

COLOMBO (News 1st) -  රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගිය බ්‍රහස්පතින්දා සිට ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ග අද (14) වන විට ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල කර තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පළාත් 4 ක ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද උදෑසන අවසන් කළ අතර 
අද උදෑසන සිට සෙසු පළාත් 5 හේ වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කෙරිණ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව අද උදෑසන 08 සිට වයඹ, ඌව, සබරගමුව ,උතුර සහ උතුරුමැද පළාත් රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ හේතුවෙන් එම පළාත් වල රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්විය..

කෙසේවෙතත්,, හදිසි ප්‍රතිකාර සේවා සහ සංවේදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල කටයුතුවලට වර්ජනයෙන් බාධාවක්  නොවන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසී ය. 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ වර්ජනය ක්‍රියාත්මක වූ පළාත් වල අද සාමන්‍ය පරිදි ප්‍රතිකාර සේවා සිදුවන බවයි.

මේ අතර, වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව දැනට ප්‍රකාශ කර ඇති පරිදි සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මයි.

එම ක්‍රියා‍මාර්ගවලට එක්ව සිටින වෘත්තිය සමිති ගණන 40 කට අධිකයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළේ ය. 

මේ අතර, අද රාත්‍රි 12 සිට පැය 24 ක කාලයක් සඳහා සිය සේවාවලින් ඉවත් වන බව ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය පවසයි. 

එහි ලේකම් ඒ. ටී. ජයසිංහ මහතා සඳහන් කළේ, ආසාධාරණ බදු අය කිරීම්, වැඩිවන ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

මේ අතර, ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද අදහස් පළ විය.