.webp)
COLOMBO ( News 1st) - ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා සදහන් කලේ, ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ.
සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.
ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ සිනොපෙක් නියෝජිතයින්,, රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයාට පවසා තිබේ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.