පුංචිහේවාගෙන් ආණ්ඩුක්‍රම ව්‍ය. සභාවට අයදුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයට නිමල් පුංචිහේවා ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක්

by Staff writer 12-03-2023 | 7:46 AM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව, මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා නිවුස්ෆස්ට් වෙත කියා සිටියේ, මැතිවරණ නීතියට අදාළව තමන් ඇතුලු වත්මන් කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණින් අදාළ අයදුම්පත යොමු කළ බවයි.

ඊට අමතරව සිවිල් සංවිධාන රැසක් ද තමාට යළි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි ඉල්ලා සිටි බව ඔහු කියා සිටියේ ය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමා ද යළි අයදුම් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය.

මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, සීමානිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පත් යොමු කළ බවයි.