.webp)
COLOMBO ( News 1 st ) - විදේශ රැකියා සඳහා වයස අවුරුදු 45ට අඩු කාන්තාවන්, තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය පැවසුවේ වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගතවීමට අවසර ලබා නොදෙන බවයි.
ඒ අනුව වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
කාර්යාංශය කාන්තාවන්ට දැනුම් දෙන්නේ, දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙසයි.
මේ අතර තම වයස අවුරුදු එක හමාරක දැරියකට හිංසා කර, එහි ඡායාරූප ඩුබායිහි සේවය කරන දැරියගේ මවට යැවීම සම්බන්ධයෙන් අත්අඩංගවට ගත් දැරියගේ පියා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, කුඩා දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමුකර ඇති බවයි.
දරුවා මිත්තනියගේ භාරයට පත්කිරීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළ අතර දැරියට හිංසා කිරීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බකමූණ, අකරගල් යාය ප්‍රදේශයේ පදිංචි පියෙකි.