ඡන්දයට ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ඡන්දයට අවශ්‍ය සහය දෙන්න අදාළ ආයතන එකඟ වුණා - මැතිවරණ කොමිසම

by Staff writer 10-03-2023 | 7:49 PM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමටත් , ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමටත් , අවශ්‍ය අවස්ථාවලදී ඉන්ධන සැපයීමටත් අදාළ ආයතන එකඟ වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා දින 5 ක් තුළද , අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලාධිපතිනිය එකඟතාව පළ කළ බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බව ද කොමිසම පැවසීය. 

එමෙන්ම, මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබා දිය හැකි බවත් මැතිවරණ භාර,ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති විසින්, දන්වා ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට එකඟතාව පළ කර ඇතැයි ද මැතිවරණ කොමිසම පැවසීය.

මේ අතර දැනට වැටුප් ගෙවීම අත්හිටුවා ඇති මැතිවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එසේම මැතිවරණයට මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව මුදල් ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ , මැතිවරණ කොමිසම පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් මගිනි. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දී  තිබෙන්නේ, පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පෙරේදා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ, අදාළ  ගැසට් නිවේදනයේ දෝෂ ඇද්දැයි පරික්ෂා කිරීමට එය නැවත මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවයි.

එය ලැබීමෙන් පසුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බව ද ඇය ප්‍රකාශ කළාය.