.webp)
COLOMBO (News 1st) - මර්දනයට එරෙහි වෙමු ! මැයෙන් විරෝධතාවක් අද (10) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීය.
අද (10) දහවල් ආරම්භ කළ මෙම විරෝධතාවට, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාව පැවැත්වුණේ, කඳුළු ගෑස් ඝාතනවලට, කුරුඳු පොලු හමුදාවට, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ සරසවි තුළට පොලීසිය කඩා පැනීමට විරෝධය පල කරමින් ය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු,වසන්ත මුදලිගේ මහතා -
"අපි දන්නවා රටේ පුරවැසියෝ විදිහට රටේ ප්‍රශ්න කතා කරන්න අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න අපිට තියනවා අයිතියක්. රටේ පුරවැසියෙක් අයිතියක් තියනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ පොලීසිය යොදවලා, කුරුඳු පොලු හමුදාව යොදවලා, බැටන් පොලු දීලා, යකඩ පොලු සන්නද්ධ අංශ වලට දීලා, දැන් මේ විරෝධතා මර්දනය කරන්න මේ රටේ ජනතාවගේ ඔළු පැලෙන්න ගහන්න මැදිහත් වෙමින් ඉන්නවා. මඩ වතුර ගහලා, බේරේ වැවේ වතුර ගහලා එතනින් එහාට ගිහිල්ලා කල් පැනපු කඳුළු ගෑස් ගහලා ඒවා රසායනික අවි ලෙස භාවිතා කරමින් තමයි මේ මර්දනය ආණ්ඩුව පැත්තෙන් කරන්නේ.."
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්,පුබුදු ජයගොඩ මහතා -
"ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයේදී ප්‍රියන්ත සහෝදරයා මිය ගියා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මිය ගිහිල්ලා තියනවා උද්ඝෝෂණයේදී හත්වෙනිදා. ඊට කලින් පාර්ලිමේන්තු වටරවුම අසල දී තරුණයෙක් මිය ගියා විෂ සහිත කඳුළුගෑස් නිසා. මේ වෙනකොට මරණ තුනක් සිද්ධ වෙලා තියෙනවා විෂ සහිත කඳුළුගෑස් වලින්. ඒ විෂ සහිත කඳුළුගෑස් කල් ඉකුත් වූ කඳුළුගෑස් විෂ සහිත රසායන පාවිච්චි කිරීම ගැන ජාත්‍යන්තර වශයෙන් විමර්ශනයක් ඕනේ. හමුදාවයි, පොලීසියයි එකම ඉන්න තැන හමුදා නිල ඇඳුමෙන් සැරසිලා පොලු අරගෙන මූණු වහගෙන ආපු පැරාමිලිටරි කල්ලිය කවුද ?"
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාලිං මහතා -
"මේ රටේ දරුවන්ට කඳුළු ගෑස් ගහන්න කවුද අයිතියක් දුන්නේ? අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවලට.. බලන්න මුන්ගෙ මානව හිමිකම් උල්ලංඝණය. උන් තමයි ඕගොල්ලන්ගෙන් ආධාර ඉල්ලන්නේ ඒ ජනතාව මර්දනය කරගෙන. අද රටේ ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. මේ කරන්නේ මර්දනයක් පොලීසිය හමුදාව යොදවලා කරන මර්දනයක් මේ මර්දනය නතර කළ යුතුයි.."
වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක,ළහිරු වීරසේකර මහතා -
"හමුදා නිලධාරීන් ලී පොලු, යකඩ පොලු තමන්ගේ කමිස අස්සේ ගහගෙන ඉන්නේ කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවම කියනවා ඒ කවුද? කියලා ඒගොල්ලො දන්නෙ නෑ ලු.දැන් අයි.එම්.එෆ්. කොන්දේසිය වෙනුවෙන් ආණ්ඩුව මිනී මරන්න තීරණය කරලා තියෙනවා. හැබැයි අපි කියනවා ආණ්ඩුවට අයි.එම්.එෆ් ණයක් වෙනුවෙන් අපි මැරෙන්න ලෑස්ති නැහැ.."