ගිනස් පොතට ගිය කැනඩාවේ නිවුන් දරුවන්....

ගිනස් පොතට ගිය කැනඩාවේ නිවුන් දරුවන්....

by Hashini De Mel 09-03-2023 | 11:35 AM

COLOMBO (News 1st) - අඩුම ගර්භණී කාලයකින් උපත ලද ලොව ප්‍රථම නිවුන් දරුවන් දෙදෙනා ලෙස සති 22 න් උපත ලද කැනේඩියානු දරුවන් දෙදෙනක් ගින්ස් වාර්තා පොතට එක්ව තිබේ.   

විදෙස් මාධ්‍ය පැවසුවේ, ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා ලෙස නම් තබා ඇති මෙම දරුවන් දෙදෙනාගේ නියමිත උපත සිදුවීමට දින 126කට පෙර උපත ලබා ඇති බවයි. 

මීට පෙර අඩුම ගර්භණී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙස සඳහන්ව ඇත්තේ, 2018 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ නිවුන් දරුවන් ය. 

ඒ අනුව මෙම නිවුන් දරුවන් ගිනස් පොතට එක්වූයේ, උපත සිදුවීමට නියමිත දිනට දින 125කට පෙර උපත ලබා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ නිවුන් දරුවන් තබා තිබූ වාර්තාව අභිබවා යමිනි.

සාමාන්‍ය ගැබ් ගැනීමකදී ගැබ් කාලය සති 40 ක් වන නමුත් මෙම නිවුන් දරුවන් නිසි දිනට සති 18 කට පෙර උපත සිදුව තිබීම විශේෂත්වයකි. 

මෙය නිවුන් දරුවන්ට උපත දුන් මවගේ දෙවන ගැබ් ගැනීම වන අතර මීට මාස කිහිපයකට පෙර ඇයට සිය පළමු ගර්භණීත්වය අහිමි වී ඇත.

දරුවන්ගේ මව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නොමේරු දරුවන් ලෙස උපත සිදු වූ සිය දරු දෙදෙනාගේ ජීවත් කළ හැකි බවට වෛද්‍යවරුන් පවා විශ්වාසය නොකළ බවයි.

නොමේරු දරුවන් ලෙස උපත ලබා මෙලෙස ගින්ස් වාර්තා පොතට එක් වූ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජාගේ දැන් වයස අවුරුද්දකි.