මැතිවරණය වෙනුවෙන් හඬ නගන එතෙර ලාංකිකයෝ

මැතිවරණය වෙනුවෙන් හඬ නගන එතෙර ලාංකිකයෝ

by Staff writer 06-03-2023 | 10:04 PM

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලමින් විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් රටවල් ගණනාවක සිට විරෝධතාවල නිරතවිය.

ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැවැත් වූ විරෝධතාවයේ දී ඔවුන් අවධාරණය කළේ, මැතිවරණය කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

''අපි දන්නවා රනිල් වික්‍රමසිංහ නැත්නම්, රනිල් රාජපක්ෂ අද මේක පූට්ටුවක්.ඒ කියන්නේ ලංකාවේ ඉන්න අති දුෂ්ඨ,අති දුෂිත, නරකම පන්නයේ දේශපාලනඥයින්ගේ කල්ලිය එක රොත්තට එකට එකතු වෙලා රටේ ජනතාවගේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී මුලික අයිතිවාසිකම පැහැර ගනිමින් තියෙනවා මේ වේලාවේ.මේ අරගලයේ තේමාව තමයි මැතිවරණ අයිතිය ලබා ගැනීම..'' 

මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී  ද මැතිවරණය වහා පවත්වන ලෙසට රජයට බල කරමින් විරෝධතාවක් පැවැත් විණි.
  
''ඡන්දය කියන්නේ උඹට ඕන ඕන වේලාවට තියන්න මිනිස්සුන්ගේ හිඟමනක් නෙමෙයි.ඒක මිනිස්සුන්ගේ අයිතියක්.නියම වේලාවට නියම කාලයට මිනිස්සුන්ට තියන්න ඕන,දෙන්න ඕනි.එහෙම කරේ නැත්නම් එදා රාජපක්ෂලාට නේවී කැප් අස්සේ,දූපත් අස්සේ හැංගිලා තමයි ඉන්න වුනේ.හැබැයි උඹට දුවන්න වුණු දවසට උඹට දුවන්න තැන් නැති වෙයි කියන එක අපි අද මේ මෙල්බන් නුවර ඉදන් රනිල් වික්‍රමසිංහට මතක් කරලා දෙනවා.. ''


''ප්‍රජාතත්ත්‍රවාදයේ හැම මුලධර්මයකටම පටහැනිව අද අපට ශ්‍රී ලංකාවේ ඉන්නේ කිසිදාක තම ජනතාවගේ වරමක් ලබා නොගත් විධායක ජනාධිපතිවරයෙක්. එයා ඒක තවමත් ඉදිරියට පවත්වා ගනිමින් යනවා. ඡන්දය අවලංගු කරමින් උද්ඝෝෂණ මර්ධනය කරනවා. ළඟදි තිබුණු උද්ඝෝෂණවලින් මිනිස්සුන්ට තුවාල වුණා. එක්කෙනෙක් මැරුණා. අපේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවිය යුතු මිල මේකද? අපට මේක බලන් ඉන්න බැ. පිටරට ඉදන් මේ දේවල් බලන් ඉඳිද්දී ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට හරිම වේදනයි. අපට රට ගැන තියෙන කැක්කුම නිසයි අපි අද මෙතන ඉන්නේ.මැතිවරණ කොමිසම නිහඩයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාවට පටහැනිවයි ගෝඨාභය රාජපක්ෂව නම් කරන්න ඉඩ දුන්නේ. මැතිවරණ කොමිසම තමන්ගේ රාජකාරිය කඩ කළා. ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත් නොහැරිම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඔවුන් අපොහොසත් වුණා. ලංකාවේ ඉහළම තැනකට මෙවැනි පත් කිරිමක් කරපු  නිසා තමයි මේ රට මේ වගේ ඛේදවාචකයට පත් වු‍ණේ.මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි, මම නැවතත් කියනවා. අපි මේ ගමන අත් නොහරිමු. අරගලයට ජය වේවා..''
          

මේ අතර ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු යන්න තේමා කරගනිමින් ස්වීඩනයේ, ස්ටොක්හෝම් නගරයේදී ද තවත් විරෝධතාවක් පැවැත්විණි. 

මෙය සංවිධානය කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසිනි.