ප්‍රදේශ රැසකට මහ වැසි

ප්‍රදේශ රැසකට මහ වැසි : ජන ජීවිතයටත් බාධා

by Staff writer 06-03-2023 | 10:09 PM

COLOMBO (News 1st) – සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බවයි.

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන අතර 
අද (06)  පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ  අධිවේගී මාර්ගයේ පින්නදුව සහා ඉමදූව අතර කොටසේ අධිවේගී මාර්ගයට පහතින් දිවෙන උමං මාර්ග තුනක් ජලයෙන් යට විය.

අප වාර්තාකරු පැවසුවේ, අධිවේගී මාර්ගයේ දෙපස ජල මාර්ගවල නිසි පරිදි ජලය බැස නොයාම හේතුවෙන් මෙලෙස උමං මාර්ග ජලයෙන් යටවන බවයි.

මේ අතර මීරිගම ප්‍රදේශයටද අධික වර්ෂාවක් ඇද හැලෙන බව අප වාර්තාකරු පැවසීය.