18 වංගුවේ එක් මංතීරුවක් යළි විවෘත කෙරේ..

වසා දැමුණු මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුවේ වසා දැමුණු කොටසේ එක් මංතීරුවක් යළි විවෘත කෙරේ..

by Staff writer 05-03-2023 | 3:40 PM

COLOMBO (News 1st) - 18 වංගුව ප්‍රදේශයේ 14 වැනි වංගුව ආසන්නයේ ගල් පෙරලීමෙන් අවහිර වූ මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වාහන ධාවනයට යළි විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයන්ට යටත්වයි.

ඒ පිළිබඳව අදහස් පළ කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ,  ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා  පැවසුවේ සිය නිලධාරියෙකු එම ස්ථානය කරා පිටත් කොට හැර ඇති බවය.

එම නිලධාරියා ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තවදුරටත් මාර්ගය විවෘත කිරීම පිළිබඳව කටයුතු සිදු කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මාර්ගයට පෙරළී ඇති ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි.

අද (05) රාත්‍රිය වන විට රථවාහන ධාවනය සඳහා යළි මාර්ගය විවෘත කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.