මරණයකින් කෙළවර වූ නුවරගල රක්ෂිතයේ උපන්දින සැමරුම

මරණයකින් කෙළවර වූ නුවරගල රක්ෂිතයේ උපන්දින සැමරුම

by Staff writer 05-03-2023 | 9:45 PM

COLOMBO (News 1st) - සිය උපන්දිනය සැමරීම සඳහා මහඔය නුවරගල රක්ෂිතයේ විනෝද චාරිකාවක් පැමිණි පුද්ගලයෙකු ගල්ලෙන පරිශ්‍රයෙන් පහලට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහඔය, නුවරගල පුරාවිද්‍යා භූමිය සද්ධාතිස්ස රජ සමයේ කරවු බවට ලිඛිත සාක්ෂි හඳුනාගත් ස්ථානයකි.

එම භූමිය සහ එහි පිහිටි ගල්ලෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ වඩාත් ආකර්ශනයට ලක්ව ඇත්තේ එහි පිහිටිම නිසයි.

මේවා නැරඹීම සඳහා මහඔය පොල්ලේබැද්ද ගම්මානයේ සිට කිලෝමීටර් 8 ක පමණ දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙන්ම මහඔය අම්පාර මාර්ගයේ බොරපොල විද්‍යාලය අසළ සිටත් පැමිණිය හැකියි. 

නුවරගලේ ගල්තලාව මත පිහිටි පොකුණත්, ඊට පහළින් පිහිටි ගල්ලෙනත් සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් ය.

ඉසුරු උදයංග වීරසිංහ ,පසුගිය 3 වැනිදා සිය උපන්දිනය සැමරීම සදහා තවත් 7 දෙනෙකු සමග නුවරගල රක්ෂිතය බලා පිටව ගොස් තිබුණි.

මේ පිරිස නුවරගල නැරඹීමට පිටත්ව ගොස් තිබුණේ, මහඔය වනසංරක්ෂණ කාර්යාලයෙන් අවසර පත්‍රද ලබාගැනීමෙන් අනතුරුවයි. 

පිරිස එදින රක්ෂිතයේ රාත්‍රීය ගත කර තිබෙන්නේ නුවරගල ගල්ලෙන තුළයි.

ඔවුන් අතර සිටි ඉසුරු උදයංග අතුරුදන්ව ඇති අතර ඔහුගේ සිරුරු ගල්තලාව පහළ ප්‍රදේශයේ තිබීයදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි උහන, කුමාරිගම ප්‍රදේශයේ පදිංචි මහ ඔය ජල සම්පාදන මණ්ඩලයේ කළමණාකර සහකාරවරයෙකි.

පොලීසිය පැවසුවේ පිරිස රාත්‍රී කාලයේදී විනෝද වීමෙන් පසු රක්ෂිතය තුළ ම අලුයම් කාලයේ නින්දට ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි.

4 වැනිදා අලුයම් කාලයේදි සොයා බැලීමේදී අයෙකු අතුරුදන්ව සිට ඇති අතර ඔහුගේ සිරුර සොයා ගැනුණේ, අද (05) දිනයේදීයි.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05)  පස්වරුවේ සිදුකෙරුණේ දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත් අනුරුද්ධ මාපා බණ්ඩාර මහතා ද අතිශය දුෂ්කර ගමනකින් අනතුරුව සිද්ධිය වූ ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.