තෙල් ටැංකි ගැන ජනපතිගෙන් උපදෙසක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කර කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කරන්න - ජනපතිගෙන් උපදෙස්

by Staff writer 04-03-2023 | 2:46 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ , ත්‍රිකුණාමලය ලංකා IOC තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ සහ තෙල් ටැංකි 61 කින් සමන්විත සංකීර්ණයේ නිරීක්ෂණයට ඊයේ (03) එක් වෙමිනි.

දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කරමින් ත්‍රිකුණාමලය සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙන අතර ත්‍රිකුණාමලය ඉන්දියානු ඔයිල් සමාගමේ තෙල් ටැංකි සහ ගබඩා පර්යන්තය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි කළමනාකරණ අධ්‍යක්ෂ, මනෝජ් ගුප්තා මහතා විසින් පිළිගත් අතර ඉන්දියානු ඔයිල් සමාගමේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හල ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, තෙල් ගබඩා පර්යන්තයේ පිහිටි අති නවීන විද්‍යාගාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර මෑතකදී සංවර්ධනය කර ආරම්භ කරන ලද මෙරට ප්‍රථම දේශීය ග්‍රීස් නිෂ්පාදන කම්හල නැරඹීමට ද එක් වූ බවය.

වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක ධාරිතාවයකින් යුතු මෙම ග්‍රීස් නිෂ්පාදන කම්හල මගින් මෙරට සමස්ත ග්‍රීස් ඉල්ලුම සපුරාලීමට හා ග්‍රීස් ආනයනය සඳහා දැනට වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාව පවතියි.

මේ අතර අර්බුදකාරී කාලසීමාව තුළ රටට ඉන්ධන සැපයීම විධිමත්ව පවත්වාගෙන යාමට ඉන්දියානු ඔයිල් සමාගම කළ කැපවීම එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් විය.