18ට අඩුයි නම්, දවසට TikTok පැයයි

18ට අඩුයි නම්, දවසට TikTok පැයයි

by Staff writer 02-03-2023 | 2:13 PM

COLOMBO (News 1st) –  වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි. 

TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින්  මෙම පියවර ගන්නා බවයි.   

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා  දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති. 

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok  පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක්  ඇතුළත් කිරීමට සිදුවනු ඇති. 

කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන්  ඉවත් වීමට හැකියාව ඇති බවත්  ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය. 

TikTok අයත් සමාගමට අනුව  මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව  යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ඇති. 

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ  වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට  ඔවුන් දෛනිකව TikTok යෙදවුම  පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු  ඇති.   

මේ අතර  TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ   TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතී.

TikTok හි  විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසන්නේ, සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී  පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බවයි. 

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ  පිරිස්  TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි. 

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාව ද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.