ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්

by Staff writer 02-03-2023 | 12:07 PM

COLOMBO (News 1st) -  ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේ, ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවයි.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.