පකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා අගමැති හමුවෙයි

සාගර ආරක්ෂාව සහ සාමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියට පකිස්ථානයේ පූර්ණ සහයෝගය

by Staff writer 28-02-2023 | 4:29 PM

COLOMBO ( News 1st ) - සාගර ආරක්ෂාව සහ සාමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියට පකිස්ථානය පූර්ණ සහයෝගය ලබා දෙන බව එරට නාවික හමුදා ප්‍රධානි මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා පවසයි. 
 
පකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේදියි. 

සන්නද්ධ ගැටුම් පැවති සමයේ මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදී ද ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා  පාකිස්ථානයට ස්තූති කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සමුද්‍රීය ක්‍රියාකාරකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම සඳහා දෙරට අතර සමුද්‍ර කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වාදී තිබේ. 

ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාවන්ට පුහුණු අවස්ථා ලබා දීම අඛණ්ඩව සිදු කරන බව පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා එහිදි ප්‍රකාශ කර තිබේ.