ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපනයට සැරසෙයි

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපනයට කැබිනට් අනුමැතිය

by Staff writer 28-02-2023 | 8:13 PM

COLOMBO ( News 1st ) - රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අදාළවයි.

2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද, සේවකයින් රජය තීරණය කරනු ලබන විශ්‍රාම වැටුපකට යටත්විය යුතු බවට වන විධි විධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධවීමට එම සේවකයින්ට හැකියාව ඇතැයි අදාළ යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය සේවයට සම්බන්ධවන සේවකයින්ගේ මූලික වැටුපෙන්  8% ක් හා සේවා යෝජකයාගේ දායකත්වය වශයෙන්  12%  ක් මාසිකව යෝජිතව අරමුදලට බැරකල යුතු වේ.