අනුර ඇතුළු 26කට තහනම් නියෝගයක්..

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු 26කට කොටුව අධිකරණයෙන් තහනම් නියෝගයක්..

by Staff writer 26-02-2023 | 11:17 AM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකට, අද (26) පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වමින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුවයි.

ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් ඇති විය හැකි මහජන පීඩාව සැළකිල්ලට ගෙන පොලීසිය එම ඉල්ලීම කර තිබුණි.

අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයට අනුව අදාළ මාර්ගවලට ඇතුළුවීම තහනම් වන අතර, දේපොළ හානි මෙන්ම ජනතාව ප්‍රකෝප කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් නොකළ යුතුයි.

ජාතික ජන බලවේගය ඇතුළු වෘත්තීය සමිති අද පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයේදී අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීමක් වශයෙනි.