අනුර ඇතුළු 26කට තවත් තහනම් නියෝගයක්

අනුර කුමාර ඇතුළු 26කට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයනුත් තහනම් නියෝගයක්

by Haindu Gihan 26-02-2023 | 1:43 PM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන රෝහල් චතුරශ්‍ර පරිශ්‍රයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින්, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි.

කොළඹ ජාතික රෝහල, අක්ෂි රෝහල සහ හෘද රෝහල මරදාන ප්‍රධාන රෝහල් චතුරශ්‍රය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් විරෝධතා හේතුවෙන් රෝගීන් සහ එම ප්‍රදේශ භාවිත කරන ජනතාව පීඩාවට පත්විය හැකි බව, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වා දී ඇත.

අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව රෝහල් චතුරශ්‍රය හා අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවක් වන පරිදි ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මාර්ගය සහ පදික වේදිකාව අහුරමින්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම තහනම් වේ.

අදාළ තහනම් නියෝගයට අදාළ වන පුද්ගලයින් අතරට අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු 26 දෙනෙකු ඇතුළත් වේ.