සල්ලි දෙනවනම් දවස් 5න් තැපැල්ඡන්ද පත්‍රිකා දෙන්නම්

චක්‍රලේඛ සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම නිසා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වුණා - රජයේ මුද්‍රණාලයාධිපතිනිය

by Staff writer 18-02-2023 | 3:41 PM

COLOMBO (News 1st) - චක්‍රලේඛ මගින් සිදුකර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය අවධාරණය කරන්නේ, ඒ කෙරෙහි වෙනෙත් කිසිදු පාර්ශ්වයක බලපෑමක් නොවූ බවය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා ප්‍රමාණය මිලියන 18 කට ආසන්න වේ.

ඉන්, තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා වෙන් කෙරෙන්නේ 3% ක් පමණි.

මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා වියදම් දැරීමට අයවැය චක්‍රලේඛය බාධාවක් නොවන බව තහවුරු කරමින් තවදුරටත් අදාළ ප්‍රතිපාදන නිදහස් කරදී ආරක්ෂක, සුබසාධන, විදුලිය ඇතුළු සේවා සහ පහසුකම් සපයා ගැනීමට රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදීමට කටයුතු කරන්නේ නම් සහ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ නම්, එම දිනයේ සිට දින 5 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දිය හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය දැනුම් දෙයි.

ඇය පෙන්වා දෙන්නේ, සමස්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 20 ත් 25 ත් අතර කාලයක් අවශ්‍ය බවයි.

පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස කළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඇය ප්‍රකාශ කළා ය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ, මේ වනවිට සිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවයි.

මේ දක්වා පැවති ඡන්ද විමසීම්වලදී කිසිදු අවස්ථාවක පොලිස් ආරක්ෂාවකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොමැති බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය පෙන්වා දෙයි.