.webp)

COLOMBO (News 1st) -කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ආකාරය නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික පරීක්ෂණයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ශාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ නඩුව අද (17) කැඳවු අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්, රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ, ඒ සඳහා වෝහාරික වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ සඳහා විශේෂඥයින් 05 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරනු ඇති.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ යම් පරස්පරතාවන් ඇති බවට පවුලේ ඥාතීන් අධිකරණයට පෙන්වා දී තිබුණි.
ඔහු ගෙල සිරකිරීමකින් මිය ගිය බව පූර්වයෙන් ප්‍රකාශ කෙරුණත් , සයිනයිඩ් ශරීර ගත වීමෙන් මරණය සිදුව ඇති බව පසුව අනාවරණය වීමත් සමග එම ගැටලුව මතුවු බව පවුලේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
මේ අතර ශාෆ්ටර් මහතා සිටි මෝටර් රථයේ බෝතලයක තිබී මරණකරුගේ ජෛව සාම්පල්වලට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පල් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට වාර්තා කළේ ය.
පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිය මෝටර් රථය තුළ ගෙල බැඳ සිරකර සිටිය දී දිනේෂ් ශාෆ්ටර් මහතා සොයා ගැනුණි.
