රුපියල් මිලියන 700ක ගනුදෙනුව

රුපියල් මිලියන 700 කට අධික මුදලක් වනසන ගනුදෙනුව

by Staff writer 17-02-2023 | 8:00 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 700 කට අධික මුදලක් කිසිදු හේතුවක් නොමැතිව විනාශ කරන ගනුදෙනුවක් ගැනයි මෙම අනාවරණය.

අපි මේ වනවිට බොරතෙල් මිලදී ගන්නේ අවිධිමත් යෝජනා පදනම් කරගෙනය.

බලධාරීන් පවසන ආකාරයට එසේ සිදු වූයේ, විදේශ සංචිත අර්බුදය නිසා අපේ ණයවර ලිපි සැපයුම්කරුවන් පිළිනොගැනීම නිසාය.

එහෙත් අවිධිමත් යෝජනා මත සිදුවන ගනුදෙනු නම් බරපතලය.

අපේ පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් තොගයක් රැගත් නෞකාවක් පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා කොළඹ වරායට ළඟාවිය.

බොර තෙල් තොගයේ ගොඩබෑම් අවසන් වූයේ දෙසැම්බර් 17 වැනිදායි.

බොර තෙල් ගොඩ බෑමේ ක්‍රියාවලියේ දී අපගේ පිළිගත්  ක්‍රමවේදයට අනුව, අපතේ යා හැකි සම්මත් ප්‍රමාණය අදාළ නැවෙන් රැගෙන එන තෙල් තොගයෙන් 0.3% ක ප්‍රතිශතයකි.

එහෙත්, නොවැම්බර් මස 20 වැනිදා කොළඹ වරයාට ළඟාවී, දෙසැම්බර් 17 වැනිදා ගොඩබෑම් කටයුතු සම්පූර්ණ වූ නෞකාවේ ගොඩබෑම් ක්‍රියාවලියේ දී අපතේ ගොස් ඇති බොර තෙල් තෙල් ප්‍රමාණය සමස්ත තොගයෙන් 1.891% ක් වේ.

එනම්, බොරතෙල් බැරල් 13,232 කි.

ප්‍රශ්ණය මේ අපතේ යාම් වෙනුවෙන් අපිට ගෙවීමට සිදුවීමයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර වාර්තාවලට අනුව එම හානිය පියවා ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම ඉල්ලා සිටින මුදල අමෙරිකානු ඩොලර් එකොලොස් ලක්ෂ 4380.94

එය වත්මන් විනිමය අනුපාත අනුව රුපියල් මිලියන 400 ඉක්මවා තිබේ.

මෙම ප්‍රශ්නගත ගනුදෙනුව මෙම නෞකාවෙන් නවතින්නේ නැත.

එම සැපයුම් සමාගමට අයත් තවත් බොරතෙල් නෞකාවක් 2022 නොවැම්බර් මස 28 වැනිදා කොළඹ වරායට ළඟා වී තිබූ අතර එහි ගොඩබෑම් අවසන්ව තිබුණේ, පසුගිය ජනවාරි මස 15 වැනිදායි.

එම නෞකාවෙන් තෙල් ගොඩබෑමේදී අපතේ ගිය බව සළකන බැරල් ප්‍රමාණය 12,551 කි.

එය මුළු තොගයෙන්  1.734 %ක ප්‍රතිශතයකි.

මේ නෞකාවේ හානිපූර්ණය වෙනුවෙන් සැපයුම් සමාගම ඉල්ලා සිටින මුදල ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ විසි එක් දහස් දෙසිය අනූ එකයි සත 63 ක්.

එය දළ වශයෙන් රුපියල් මිලියන 370 ඉක්මවනවා.

මේ අපතේ යාම් ගනන් බලා ඇත්තේ ඊට අදාළව සේවය ලබාගත් ස්වාධීන පරීක්ෂණ ආයතන දෙකකින්.

ඛනිජ තෙල් සංස්ථාවෙන් අප මේ ගනුදෙනුව පිළිබඳව විමසූ අවස්ථාවේ එහි නිලධාරියෙකු පැවසුවේ මීට අදාළව අභ්‍යන්තර විගනනයක් සිදුවන බවයි.

මේ අපතේ යාම් නල පද්ධතියේ නැතහොත් ටැංකිවල ඇතිවූ ප්‍රශ්ණයක් හෝ ගනනය කිරීමේ ගැටලුවක් දැයි සොයා බැලිය යුතු බව එම නිලධාරියා කියා සිටියා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 400 ක් නැතැයි මැසිවිලි නගද්දී අපතේ යාම් මුවාවෙන් රුපියල් මිලියන 770 කට අධික මහජන මුදල් විනාශ කිරීම යුක්ති සහගතද?

විදුලි බිල යළිත් වැඩි කිරීමේ ප්‍රධාන හේතුවක් වූයේ තෙල් හා ගල් අඟුරු සදහා යන වියදම් පියවා ගැනීම.

දැන් සීමා ඉක්මවා සිදුවන අපතේ යාම් යැයි කියමින් රුපියල් මිලියන 770 කට අධික මුදල් වල බර ජනතාව මත පැටවීම සාධාරණද?

වහා විමර්ශනයක් කර මේ ගනුදෙනුවේ ඇත්ත රටට හෙළිකළ යුතු නොවේද?