තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

Breaking තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

by Staff writer 14-02-2023 | 3:20 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (14)  දින නියමයක් නොමැතිව කල් දැමුණි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ පියවර ගෙන ඇති බවයි.

මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව හෙට (15)  මධ්‍යස්ථාන 1116කදී තැපැල් ඡන්ද නිකුත් කිරීමට නියමිතව තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිවේදනය කළේ, කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානී ලියනගේ මහත්මිය ඊයේ (13)  මැතිවරණ කොමිෂන් සභාවට යැවූ බව කියන ලිපියක් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබුණි.

එම ලිපියෙන් මුද්‍රණාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ, මුද්‍රණ කටයුතු සඳහා අදාළ මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් ප්‍රමුඛතා ගතකර ඇති අත්‍යාවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිදහස් කළ යුතු බව අයවැය චක්‍රලේඛ මගින් දන්වා ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

මුද්‍රණාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ, එම නියෝගවලට පිටින් නිලධාරීන් බැදීමක් ඇතිකර නොගත යුතු බවත් , එම නියමයන් කඩ කරන නිලධාරීන් පුද්ගලිකවම ඒ සදහා වගකිව යුතු බවත් එම චක්‍රලේඛවල අවධාරණය කර ඇති බවයි.

මැතිවරණය වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ  පෙත්සම පිළිබඳව අවසන් විනිශ්චයක් ලබාදී නොමැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඒ සම්බන්ධ පිරිවැය දැරීම ගැටලුවක් බව ද එහි සඳහන් වේ.

ගංගානී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ දැනට රුපියල් මිලියන 410. 6 ක් මුද්‍රණ සඳහා වැය වන පිරිවැය ලෙස ගණන් බලා ඇති බවයි.