එකඟතාවකින් තොරව අවසන් වූ විදුලි බිල සාකච්ඡාව

විදුලි බිල වැඩි කිරීම : මණ්ඩලය හා කොමිසම අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

by Staff writer 14-02-2023 | 4:56 PM

COLOMBO ( News 1st ) -  විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර ඊයේ (13) පැවැත් වූ  සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ  බව විදුලි බල මණ්ඩලය ජාතික සභාවට දැනුම් දී තිබේ. 

විදුලි බල මණ්ඩලය දැනුම් දුන්නේ 60%ක විදුලි ගාස්තු ඉහළ දැමීම මහජන උපයෝගිතා කොමිසම අනුමත නොකරන්නේ නම්, තමන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවයි. 

ඉදිරියේදී ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි වන බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ජාතික සභාවට පෙන්වා දී තිබේ. 

එහිදි මහජන උපයෝගිතා කොමිසම නියෝජනය කළ  නිලධාරින් ජාතික සභාවට දැනුම් දුන්නේ, විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව  තම කොමිසම මේ වන විට අධ්‍යනය කරමින් ඇති බවයි. 

හෙට දිනයේ එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

කරුණු සලකා බැලූ ජාතික සභාව විදුලි බල මණ්ඩලයට හා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ අදාළ ගාස්තු ප්‍රකාශයට පත් කිරිමට පෙර සාකච්ඡා කර එහි ප්‍රගතිය සිය සභාවට දැනුම් දෙන ලෙසයි.