.webp)
COLOMBO ( News 1st ) - අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල ඇතුළු ශරීර කොටස් විනාශ නොකර සුරක්ෂිතව තබා ගන්නැයි , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා ය.
මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ , දිනේෂ් ශාෆ්ටර් මහතා පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු රඳවා සිටි ඇඳෙහි ඇඳ ඉහපත් අංකය , ඔහුට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු තොරතුරු වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර , පවත්වන අවස්ථාවේදී හා ඊට පසු ඔහුගේ ශරීරයේ ඡායාරූප හා විඩීයෝපට ලබා ගෙන ඇත්නම් ඒවාද වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය පාර්ශ්ව දෙකකට නියෝග කළා ය.
එම පාර්ශ්ව වන්නේ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා එනම් සොකෝ නිලධාරීන්ටයි.
පසුගිය දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමිය තුළදී කාර් රථයේ තිබී ශාෆ්ටර් මහතා සොයා ගන්නා විට ඔහුගේ දෑත් ගැට ගසා සිටි ටයිපිටියේ හා ගෙල සිරකර තිබු වයරයේ මෙන්ම කාර් රථය තුළ තිබු බෝතලයක මරණකරුගේ ජෛව සාම්පල්වලට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පල ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අධිකරණයට දැනුම් දුන්නේ ය.
එම අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් මෙම මරණය සම්බන්ධයෙන් නැවත වතාවක් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා එම ද්‍රව්‍ය අවශ්‍ය වන බව පෙන්වා දුන්නේ ය.