වසන්ත ගැන නීතිපතිගෙන් අභියාචනයක්..

අන්තරේ වසන්ත නිදහස් කරමින් දුන් නියෝගය බල රහිත කරන්න - නීතිපතිගෙන් අභියාචනයක්

by Staff writer 12-02-2023 | 9:11 PM

COLOMBO ( News 1st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගෙනු කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය සිකුරාදා අදාළ  අභියාචනය මහාධිකරණය හමුවේ ගොනු කළ බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් දැක්වූ විරෝධතාවය පිළිනොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව අදාල අභියාචනයේ සඳහන් ය.

එසේ තිබියදීත්, නඩු කටයුත්තෙන් සැකකරු නිදහස් කිරීම නීතියට පටහැනි බවත්, එමගින් පෙන්වා දී තිබූ නීතිපතිවරයා, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ එම නියෝගය බලරහිත කර නඩුව පෙර පැවැති තත්ත්වයෙන්ම පවත්වාගෙන යාමට නියෝගයක් කරන්නයි ඉල්ලා තිබේ.