තුර්කි සිරියා භූ කම්පනය 17,000කට දිවි අහිමි කරයි..

තුර්කි - සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

by Staff writer 09-02-2023 | 7:13 PM

COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් ගණන අද (09)  පස්වරුව වන විට 17,000 ඉක්මවා ගොස් තිබේ. 

භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 50,000 පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. 

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්  ක්‍රියාත්මක අතර සහන කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව ඇති විශාලතම අභියෝගය මේ විපත හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් රැක බලා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එම පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් නිසි පරිදි නොලැබුණහොත් ඇතිවී තිබෙන තත්ත්වය තවත් දරුණු විය හැකි බව එම සංවිධානය ප්‍රකාශ කර සිටින අතර  මේ වන විට ලොව පුරා රටවල් 60කට අධික ප්‍රමාණයක් සහන සැපයීමට ඉදිරිපත්ව ඇති බව අද (09) විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

මේ අතර තුර්කි රජයේ ආපදා වළක්වාගැනීමේ සහ කළමනාකරණය කිරීම තුර්කි වැසියන්ගේ විවේචනයට ලක්ව තිබේ. 

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති රිසිප් තායිප් අර්ඩොවාන් පවසා ඇත්තේ, පුද්ගලයින් දහස් ගණනක් අවතැන් කරමින් සිදු වූ මෙවැනි දරුණු ආපදාවකදී, රජයකට ලබා දිය හැකි උපරිම සහය ඔවුන් තුර්කි ජනතාවට ලබාදෙන බවයි. 

මෙම භූමිකම්පාව සිදුවන  අවස්ථාවේ තුර්කියේ දී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.