භූ කම්පනයෙන් මියගිය ගණන 16,000 පනී

තුර්කි - සිරියා ඛේදවාචකයෙන් අහිමිවූ මිනිස් ජීවිත ගණන 16,000 ඉක්මවා යයි

by Staff writer 09-02-2023 | 4:10 PM

COLOMBO ( News 1st ) - තුර්කි - සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන් 12,873 තුර්කියේ දීත්, 3,162 දෙනෙකු සිරියාවේදීත් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

කෙසේ වෙතත් තුර්කි වැසියන් චෝදනා කරන්නේ,  ගළවා ගැනීමේ මෙහෙයුම් තවමත් මන්දගාමී බවටයි.  

භූ කම්පන හේතුවෙන් තුර්කියේ සහ උතුරු සිරියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගළවා ගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී ක්‍රියාකලාපය, තුර්කි ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති බවයි.

කඩා වැටුණු ඇතැම් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් උදව් ඉල්ලා කෑ ගසන හඩ තවමත් ඇසෙන බව තුර්කි වැසියන් පවසන අතර ඔවුන් චෝදනා ක‌ළේ, එම සිරවී සිටින පිරිස් මුදා ගැනීමට ප්‍රමාණවත් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ උපකරණ නොමැති බවටයි.

තුර්කි ජනාධිපතිවරයා ද අවතැන් වූ පිරිස් හමුවීමට ගොස් ඇති අතර, රජයෙන් සිදුවූ අතපසුවීම් සහ අකාර්යක්ෂමතාවන්ට සිය  කනගාටුව පළ කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුර්කි වේලාවෙන් පසුගිය 6 වැනිදා අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ   මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී   පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.