රට අරාජික කරන්න කිසිදු පාර්ශවයකට ඉඩ දෙන්නෙ නැහැ - ජනපති

by Staff writer 08-02-2023 | 11:02 AM

News 1st - තමන්ට අවශ්‍ය වන්නේ, ජනප්‍රිය වීමට නොවන බවත් රට වැටී ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

9 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පැවසුවේ,  තමන් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවයි. 

අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් එම ගමන ලේසි පහසු ගමනක් නෙවන බව සහ ගමන තවමත් අවසන් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.   

මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් කිසිවෙකුට , කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිදු කණ්ඩායමකටත්  ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය  නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 


බදු පැනවීම් සිදු කළේ,  කැමැත්තකින් නොවන බවත්  කැමති දේ කළ පමණින් රට ගොඩනැංවිය නොහැකි බවත්  සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුව ඇති බවයි.

''උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ''
 

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා  වැඩිදුටත් පැවුසවේ,  තව මාස 5ක, 6 ක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගතහොත් විසඳුමක් වෙත යා හැකි බවයි.

''මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්''
 

ජනාධිපතිවරයා පැවසුවේ, තමන් කිසි විටෙක ඉටු කිරීමට නොහැකි දේ ප්‍රකාශ නොකරන බවත්,  බලය වෙනුවෙන් බොරු නොකියන බවත් ය. 

''අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා'' 

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදීමට බලාපොරොත්තු  වන බව ද ජනපතිවරයා සඳහන් කළේ ය.  

ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ, අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතා, එකට එක්ව,  පොදු එකඟත්වයක් ඇති කර ගනිමින්  ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යාමට ඉක්වන ලෙසයි.

''රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.  අපි අපිටම පහනක් වෙමු. රටම එළිය කළ හැක්කේ එවිටයි''