ජනපති මන්දිරයේ මුදල් ගැන දැනුම්දීමක්..

අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගෙන තිබුණේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදල්.. - CIDය අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 08-02-2023 | 10:52 PM

COLOMBO (News1st) - අරගලකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්ධිරයේ තිබියදී සොයාගත් මුදල්, අසරණ ජනතාවට බෙදා දීමට සූදානම්කර තිබුණු මුදල් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේය.

එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කළේය.

ඔහු පෙන්වා දුන්නේ අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවය.