තුර්කියේ භූ කම්පනවලින් මියගිය ගණන 3500ඉක්මවයි

තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි - ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්

by Staff writer 07-02-2023 | 8:11 AM

News 1st - තුර්කි - සිරියා දේශසීමා ආසන්නයේ සිදු වූ ප්‍රබල භූ කම්පනවලින් මියගිය ගණන 3500 ඉක්මවා තිබේ. 

තුර්කි උපජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, තුර්කියේ පමණක් මේ වනවිට පුද්ගලයින් 2379 දෙනෙකු මියගොස් ඇති බවයි.

තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 14, 483 කි.

භූ කම්පනවලින් ගොඩනැගිලි 4748 කට හානි සිදුව ඇති අතර පුද්ගලයින් 7840 දෙනෙකු මුදා ගෙන ඇතැයි ද එරට උපජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

භූ කම්පනවලින් සිරියාවේ ද පුද්ගලයින් 1444 කු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර තුර්කියට බලපෑ ඇති අධික සීත කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය.

එරට සහන කටයුතු සඳහා අමෙරිකාවෙන් කණ්ඩායම් දෙකක් යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

තුර්කියේ අමෙරිකානු තානාපතිවරයා පැවසුවේ, වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා අනියුක්ත කරන බවයි.

මීට අමතරව තුර්කි - සිරියා භූ කම්පනවලින් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබා දෙන බවට ලොව පුරා රාජ්‍ය නායකයින් ප්‍රතිඥා දුන්හ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ආධාර යැවීමට ප්‍රතිඥා දී ඇති බව සිරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.
 
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ද පැවසුවේ, සහන කණ්ඩායම් තුර්කියට සහ සිරියාවට යෙදවීමට ඔවුන් සූදානම් බවයි.

මේ අතර යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය, යුක්රේනය ඇතුළු රටවල් සහ සංවිධාන රැසක් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටි.

මේ අතර අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ කර ගැනීමට නොහැකි වී ඇතැයි තුර්කියේ ශ්‍රී ලංකා තනාපති හශාන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු එම ප්‍රදේශවල සිටින බවත් ඉන් 13 දෙනෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැති බවට තොරතුරු ලැබී ඇති බවයි.