ඕනෑම අවස්ථාවක තුර්කියට සහය වන්න ලංකාව සූදානම්

ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්

by Sagarika Chathumali 07-02-2023 | 11:09 AM

COLOMBO ( News 1st )  - තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක හමුදා කණ්ඩායමක් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. 
 
අමාත්‍යවරයා සඳහන් කළේ,  ඉංජිනේරු සහ වෛද්‍ය බලඇණිවල සමාජිකයින් ද ඇතුළත්ව  300 ක හමුදා සමාජිකයින් පිරිසක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි. 

ප්‍රබල භූ කම්පනයෙන් පසු තුර්කියේ සහන සේවා... 

ප්‍රදේශයේ පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්ත්වය යටතේ වුව ද මේ වනවිට   ලොව බොහෝ රටවල් තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ‍මෙහෙයුම් සඳහා පිටත්ව ගොස්  සිටින අතර විදෙස් වාර්තා පවසන්නේ, ඉරාකය සහ ඉරානය  මේ වනවිට හදිසි සැපයුම් ද සමගින් සහන කණ්ඩායම් සිරියාව බලා පිටත් කර ඇති බවයි. 

තුර්කියේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහය වීම සඳහා ජපානය ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කිය වෙත යවා තිබේ.  

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයත් , අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිටත්  භූ කම්පනයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීමට මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහ සහය වීමට සහන කණ්ඩායම් පිටත් කර හැර ඇත. 

තව ද ආහාර, වෛද්‍ය උපකරණ , ඇඟලුම් , ඉන්ධන, ඖෂධ, ප්‍රථමාධාර, තාවකාලික නවාතැන් ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු සැපයුම් ලබා දීම සඳහා ලොව බොහෝ රටවල් ඉදිරිපත්වී සිටී. 

මේ අතර තුර්කියේ භූ  කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව , තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය. 

සිරියානු දේශ සීමවට ආසන්නව තුර්කියේ සිදු වූ තුර්කි භූ කම්පනයෙන් පසු දෙරටින්ම වාර්තා වන මරණ සංඛ්‍යාව මේ වනවිට  3,500 ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, මරණ සංඛ්‍යාව 8 ගුණයකින් ඉහළ යා හැකි බවටයි. 

භූ කම්පනයත් සමග දෙරටේම් ගොඩනැගිලි දහස් ගණනක් බිමට සමතලා වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තබිණ.  

තුර්කි වේලාවෙන් ඊයේ අලුයම සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ, මැග්නිටියුඩ් ඒකක 7.8 ක් ලෙසයි. ඉන් පැය 12කට පසු  උතුරු දෙසට වන්නට තවත් ප්‍රබල පසු කම්පනයක් වාර්තා විය.