ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි..

පැලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි: තරුණයාට 27යි, තරුණියට 24යි..

by Staff writer 05-02-2023 | 7:20 PM

COLOMBO ( News 1st ) - පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හමුවු කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, 27 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 24 ක තරුණියක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

කඳාන පොලීසිය කඩවත ප්‍රදේශයේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් අතර සැකකාරිය අත්අඩංගුවට ගැණුනේ කොළඹ අපරාධ කොට්ටාසය කළ වැටලීමකදීයි.

මේ අතර අදාළ ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් මෙතෙක් හඳුනා ගෙන නොමැති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මරණ පරීක්ෂණය හෙට (06) සිදු කිරීමට නියමිතයි.

ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පසුගියදා සොයා ගැණුන අතර මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පසුගිය දෙවැනිදා සොයා ගැණුනේ, පැලවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක පිහිනුම් තටාකයේ තිබියදී ය.

මෙලෙස මියගොස් ඇත්තේ, ප්‍රකට නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකු වූ රොෂාන් වන්නිනායක මහතා බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කළ අතර පසුගිය 30 වෙනිදා සිට ඔහු අතුරුදන්ව ඇති අතර ඔහුගේ නැගණිය ඒ පිළිබදව පොලීසියට ද පැමිණිල්ලක් කර තිබුණි.

මේ අතර ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට්පත් දෙකක් වෙන්කරවාගෙන ඇති බවට ද මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.