පුංචි ඡන්දයට මුදල් නිකුත් කිරීම ඉතා අසීරුයි..

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරුයි - රජයේ ⁣ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි..

by Staff writer 05-02-2023 | 1:01 PM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ඉතා අසීරු බව, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඔහු අනාවරණය කළේ, මහා භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවය.

මේ වනවිට සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පවතින මුදල් අර්බුදය, දැඩිව බලපා ඇතැයි ද අදාල  ප්‍රකාශකයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍යතාව මත මුදල් නිකුත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය.

අප මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථාපිත වගකීමක් බැවින් කඩින් කඩ හෝ මුදල් ලබාදෙන බවට, මුදල් අමාත්‍යංශය මීට පෙර සඳහන් කළ බවයි.

ඒ අනුව කටයුතු කරනු ඇතැයි කොමිසමේ විශ්වාසය බව, සමන් ශ්‍රී රත්නායක මහතා  වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර මැතිවරණයට මුදල් නොමැති බව දන්වා කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ  බව සඳහන් කළේ, අද (05) පෙරවරුවේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදී නැගූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.