හෙංගමුව ජනතාව ඇත්තටම දැන් නිදහස්

75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..

by Staff writer 04-02-2023 | 8:16 AM

COLOMBO ( News 1st ) : කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හෙංගමුව සුන්දර ගම්මානයට අද නිදහසේ අරුනළු උදා වුණේ, අලුත් බලාපොරොත්තුවක් සමගින්.

අපේ රටට නිදහස උදා වෙලා දැන් දශක ගණනාවක්.

ඒත් ගොවිතැනින් බත සරිකර ගත් මේ ගමේ ජනතාවට නිදහසේ පිපාසය නිවා ගන්න පිරිසිදු ජල බිඳක්  තිබුණේ නැහැ.

තමන්ට තියෙන මේ මූලික අවශ්‍යතාව ගැන  තේරෙන භාෂාවෙන් පුළු පුළුවන් විදිහට වගකිවයුතු හැමෝටම කිව්වත්, ඒ හැම දෙයක්ම බිහිරි අලින්ට වැයූ විණා වගේ වුණා.

හෙංගමුවෙ මිනිස්සුන්ට වත්තෙ පිටියෙ ළිඳක් හාරගෙන බොන්න වතුර ටිකක් හොයා ගන්න එක  මහ ලොකු දෙයක් නෙවෙයි.. තිබුණ ප්‍රශ්නෙ ඒ වතුරවල තිබුණ කිවුල් ස්වභාවය.

 හාරපු ළිංවලින් ගත්ත වතුර කටේ තියන්න බැරි වුණත් කරන්න දෙයක් තිබුණෙ නෑ..   වසර ගණනාවක් තිස්සෙ මේ ගමේ මිනිස්සුන්ට තිබහ නිවා ගන්න වුණේ, ඒ කිවුල් වතුර පානය කිරීමෙන්.
  
කෙසේ වෙතත් දැන් හෙංගමුවෙ ජනතාවට ප්‍රශ්න මදිවට ප්‍රශ්න..

 අතැමුන් වකුගඩු රෝගීන් බවට පත්වෙලා.. ඔවුන් ජීවිත රැක ගෙන ඉන්නේ, වෛද්‍ය ප්‍රතිකාරවලට පින් සිද්ද වෙන්න.. 

තමන් කොහොම හරි කිවුල් වතුර බීලා තිබහ නිවා ගත්තත් දරු පැටවුන්ට කිවුල් වතුර පොවන්න,  හෙංගමුවෙ අම්මා තාත්තට හිත් දුන්නෙ නැහැ..  

බිහිරි අලින්ට වීණා වයලා පලක් නැහැ කියලා, තේරුම් ගත්ත ගමේ වැඩිහිටියන් කවුරුත් විසඳලා නොදුන්   මේ ප්‍රශ්නය අවසානෙ ගම්මැද්දට ඉදිරිපත් කළා..

ප්‍රශ්නය ඉදිරිපත් වූ සැනින්, ගම්මැද්ද  වහා ක්‍රියාත්මක වුණේ,  පිරිසිදු ජල බිඳුවක අවශ්‍යතාවේ තරම හොඳින් ම දන්න නිසයි.  

දශක ගණනාවක් තිස්සේ, කවුරුත් සවන් නොදුන් හෙංගමුවේ ජන හඬට සවන් දුන් ගම්මැද්ද සුබ මොහොතින් ගමට පිරිසිදු ජල ව්‍යාපෘයක් ලබාදීමේ කර්තව්‍යට මුල්ගල් තැබුවා. 

ඒ පසුගිය 12 වෙනි මාසයේ 23 වෙනිදා.

 මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීමට මුල්ගල් තැබීම සිදු වුණේ, සිසු සිසුවියන් 300කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන හෙංගමුව මහා විද්‍යාල භූමියේයි. 

හෙංගමුව ජනතා බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න ගියේ මාස මාස එක හමාරක් වාගේ සුළු කාලයක්..  

 ගම්මැද්ද ඉදි කළ පිරිසිදු ජල ව්‍යාපෘතිය අද සුබ මොහොතින් සිසු අයිතියට පත් කිරීමට නියමිතයි.  

 75 වසරක නිදහසේ උදාව සනිටුහන් වන අද ගම්මැද්ද හෙංගමුවට දෙන්නේ, පිරිසිදු ජල විතරක් නෙවෙයි.

අපේ රටේ අනාගතයට 'නිදහසේ පවස නිවා ගන්න'අවස්ථාවක්. 

ඒ වගේම 75 වෙනි නිදහස් සැමරුමෙන් පස්සෙ වත් තමන්ගෙ දරුවන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් තියෙනවා කියලා,  හෙංගමුවේ අම්මා, තාත්තට  නිදහසේ හුස්ම ගන්න අවස්ථාවක් .

ආචාර්ය, එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා, දෙවින්කා පුස්වැල්ල මහත්මිය සහ පවුලේ සාමාජිකයින් ගම්මැද්ද හා අත්වැල් බැඳ ගත්තේ, හෙංගමුව සිසු දරු දැරියන් ඇතුළු ගම්වාසීන්ට පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීමේ මෙම මාහැඟි කර්තව්‍යට  සිය මූල්‍ය දායකත්වය ලබා දෙමින්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන්  මෙම පානීය ජල ව්‍යාපෘතිය  
ඉදි කෙරිණ.

 දශකයකට අධික කාලයක් තිස්සේ මහජන ජන ක්‍රියාන්විතයේ නිරත ගම්මැද්ද මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව  අද දිනයේ හෙංගමුවේදී විචිත්‍රවත් නිදහස් දින  උත්සවයක් පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම් කර තිබේ.