රටේ දියුණුව වෙනුවෙන් යුතුකම ඉටු කිරීම වගකීමක්..

රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් - අගමැති දිනේෂ් ගුණවර්ධන

by Staff writer 04-02-2023 | 6:52 AM

COLOMBO ( News 1st ) : රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී අපගේ මුතුන් මිත්තන් දැක්වූ ශූරත්වය, එඩිතරකම මෙන්ම ඔවුන් අත්දුටු දුක් පීඩා ආදිය පිළිබඳ අපගේ මතකයන් ආවර්ජනය කිරීමත් අද (04) දින අප විසින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ දැක්වෙන්නේ , අප දිනූ නිදහස පසුගිය හැත්තෑ පස් වසර පුරාවට ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන් සටන් වැදි අභීත රණවිරුවන් ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි.

ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයින් වශයෙන්, රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන් එකාවන්ව පෙළගැසී අවංකව රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීම බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.