.webp)
ඔවුන් මේ බව දැනුම් දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමුකරමිනි.
එහෙත් ඔවුන් ඒ සඳහා කොන්දේසි කිහිපයක් පනවා තිබේ.
රටේ ණය තිරසරභාවය හා මූල්‍ය ස්ථිරභාවය ආරක්ෂා වන අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉන් ප්‍රධාන කොන්දේසියක් වන අතර 2027 සිට 2032 දක්වා කාල සීමාවට සරිලන අයුරින් දේශීය මූල්‍යකරණය දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% ක් දක්වා සීමා කළ යුතු බව ද බැඳුම්කර හිමියන්ගේ එකතුව ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන (IMF) ශ්‍රී ලංකාව හා එම අරමුදල අතර ඇති කරගන්නා එකඟතාවයක් වුවත් තමන්ටද එහි ඉලක්ක සම්බන්ධයෙන් අවශ්‍යතා මත කරුණු ඉදිරිපත් කිරීමට අවකාශයක් ලබාදිය යුතු බවද අදාළ කොන්දේසිවල සඳහන් ය.
සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් රාමුවට සරිලන ලෙසත්, එම වැඩසටහනේ ඉලක්ක ළඟාකර ගැනීමට හැකි අයුරිනුත් සිදුවිය යුතු බව ද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ එකතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.
ඔවුන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ළඟාකර ගැනීමට උපකාරීවන්නා වූ ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි නිර්මාණය කිරීමටත්, ඒවා ක්‍රියාවට නැංවීමටත්, යුහුසුළුව හා කාර්යක්ෂමව ශ්‍රී ලංකා බලධාරීන් සමග මෙහෙයුම් කමිටුවක් හරහා කටයුතු කිරීමට සූදානම් බවයි.