13 වන සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතුයි... මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

by Staff writer 02-02-2023 | 12:25 PM

COLOMBO (News 1st) -  රටේ ස්වාධීනත්වය , භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂා පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කරයි. 

උන්වහන්සේ පෙන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වහයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මානය කර ඇති බවයි.

 ඉඩම් හා පොලිස් බලතල , පෞරාණික , ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීම පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නක් බව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් ය.

මහා නාහිමිවරුන් අවධාරණය කරන්නේ මීට පෙර ජනාධිපතිධූරය දැරු පුද්ගලයින් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට තුල ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධකරගත් නිසා බවයි.

ජනතා පරමාධිපත්‍ය්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතුවක් බව උන් වහන්සේ අවධාරණය කරති.

 ත්‍රෛනිකායික මහාන නාහිමිවරුන් අවධාරනය කරන්නේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා යම් කොන්දේ සදහා එකග වීමට බලපෑම් එල්ල වූවද , රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය අනතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බවයි.