කෙහෙළියගේ විදෙස්ගමන් තහනම තාවකාලිකව ඉවතට

රටට අවශ්‍ය බෙහෙත් ගේන්න, රට යන්න ඇමති කෙහෙළියට අවසර හිමිවෙයි..

by Staff writer 01-02-2023 | 3:08 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) අවසර ලබා දුන්නේ ය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අවසර හිමිවනු  ඇත.

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

නීතිඥවරයා  වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු  පවතින බවයි.

එම කරුණු දැක්වීම සලකා බැලූ  විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ  විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේ ය.

2015 ජනාධිපතිවරණ සමයේදී  ශ්‍රී  ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවයක් නොමැතිව තිබියදීත් , එම සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අනූ  දහසක් වැය කර GI බට 600ක්  මිලදී ගෙන රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහිව නඩුව අද කැඳවූ  අවස්ථාවේදී  මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ ය.

මෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මාර්තු 14 යළි කැඳවීමට නියමිතයි.