මානව හිමිකම් නවතම වාර්තාවෙන් ලංකාවට චෝදනා

රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් උල්ලංඝණය කරනවා: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම ගැනත් චෝදනා..- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක්

by Staff writer 31-01-2023 | 8:43 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් හා නීති උල්ලංඝණය කරන බවට මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ  නවතම වාර්තාවෙන් චෝදනා කර තිබේ.

එහි සඳහන් වන්නේ, අරගලය මර්දනය කරමින් ක්‍රමෝපායික ලෙස මර්දනය රට තුළ දියත් කර ඇති බව ය.

මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට රටවල් 116 ක සංවිධාන 188 ක් ඇතුළත් වන අතර එහි මහලේකම්, අදිලූර් රහමන් ඛාන් මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ හදිසි නීතිය පනවා හමුදා යොදා නැවත අරගල ඇතිවීමට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෑතක දී කළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බව ය.

ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ගේ අයිතීන් වත්මන් රජය කෙතරම් දුරට ආරක්ෂා කරන්නේදැයි ජාත්‍යාන්තර ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ද එම වාර්තාවේ සඳහන් ය.

ජූලි 09 වැනිදා එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළ දී නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 8 දෙනාට එල්ල කළ ප්‍රහාරය ද මෙම වාර්තාවේ දැඩි ලෙස හෙළා දැක තිබෙන අතර එහි සඳහන් වන්නේ, පහරකෑමට ලක්වූ පළමු මාධ්‍යවේදීන් සිව්දෙනා නිව්ස්ෆස්ට් ලාංඡනය සහිත ටී ෂර්ට් කැපී පෙනෙන ලෙස ඇඳ සිටි බව ය.

ඔවුන් රජය විසින් පිළිගත් මාධ්‍ය හැඳුනුම්පත ද අතැතිව රාජකාරියේ නිරතව සිටිය දී ප්‍රහාරයට ලක්වූ බව එහි සඳහන් කර තිබෙන අතර එම මාධ්‍යවේදීන් සිව්දෙනා බේරා ගැනීමට ගිය තවත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට ද ඒ අයුරින්ම පහරදීම බරපතල තත්ත්වයක් බව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මේලනය නිකුත් කළ  වාර්තාවේ සඳහන් කර තිබේ.

දිගින් දිගටම විරෝධතා මර්දනය කිරීමට ජීව උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ යෙදවීම තවත් බරපතල තත්ත්වයක් බව සිහිපත් කරන එම සංවිධානය අවධාරණය කරන්නේ, බලධාරීන් අනවශ්‍ය ලෙස මහජන රැස්වීම් වලට සීමා පැනවීම, හදිසි නීති රෙගුලාසි යොදාගෙන නීතිය අවභාවිත කිරීම හා මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම ද බරපතල තත්ත්වයක් බව ය.

ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී හෙට (01)  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ය.