රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි - ජනපති

රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි - ජනපති

by Staff writer 31-01-2023 | 6:46 PM

COLOMBO ( News 1st ) - රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. 

කැබිනට් මණ්ඩලයට සටහනක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම මාසයේ රජයේ ආදායම , වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව ය. 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක  දැක්වෙන්නේ,රාජ්‍ය සේවක වැටුප් , විශ්‍රාම වැටුප් , සුබසාධනය , ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව , ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව ය.

බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් ,  රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද , ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනෙහි සඳහන් ය. 

ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත් , එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් , ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. 

රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර , එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ද සදහන් ය.