.webp)
COLOMBO ( News 1st ) - රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
කැබිනට් මණ්ඩලයට සටහනක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම මාසයේ රජයේ ආදායම , වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,රාජ්‍ය සේවක වැටුප් , විශ්‍රාම වැටුප් , සුබසාධනය , ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව , ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව ය.
බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් , රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද , ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනෙහි සඳහන් ය.
ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත් , එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් , ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර , එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ද සදහන් ය.