බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප..

බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප..

by Staff writer 31-01-2023 | 4:14 PM

COLOMBO (News1st ) - බොරැල්ලේ සිදුවු වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්‍ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියෝග කළා ය.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අද (31) අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවෙකු අධිකරණය හමුවේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළා ය.   

එහිදී විමර්ශන මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම ජාවාරම සම්බන්ධයෙන් එම පෞද්ගලික රෝහලට සම්බන්ධ එක්තරා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතත් ඇය ගැබිණි කාන්තාවක වන බැවින් ඇයට ඇති වු සෞඛ්‍ය අපහසුතාවයක් නිසා මානුෂික හේතුන් මත පොලීසිය විසින් ඇය  මුදා හැර ඇති බවයි.

කෙසේ නමුත් එම සැකකාරිය මෙකී වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරියක ලෙස මේ වන විට හඳුනා ගෙන ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළදී යළි අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.