ත්‍රස්තවාදය වැළැක්වීමේ චෝදනා යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

by Staff writer 31-01-2023 | 1:41 PM

COLOMBO (News 1st) – ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේ ය.

ඒ , ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය.

වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජියකින් කිසිදු ආකාරයකින් මෙම පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සාක්ෂි නොමැති බව මහේස්ත්‍රාත්වරයා තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේ ය. 

ගැමුණු විජේරත්න සහ මෝටිවේෂන් අප්පච්චි යන දෙදෙනාගේ සාක්ෂි මත විමර්ශනයක් සිදු කර තිබුණ ද එවැනි වැරදි සිදුකළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් අතර මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට පොදු දේපොළ වලට හානි කළ බවට හෝ විදේශ සංවිධාන වලින් ආධාර ලැබුණ බවට සාක්ෂි නොමැති බව ය . 

මාස ගණනාවක් රඳවා තබා ගෙන ප්‍රශ්න කළ ද එවැනි වැරදි සිදුකළ බවට සාක්ෂි අනාවරණ වී නොමැති බවත් , සමහර අවස්ථාවල දී  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස විමර්ශන නිලධාරින් යොදා ගෙන ඇති බවට පෙනී යන්නේ යැයි ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය. 

සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කරමින් වසන්ත මුදලිගේ ඔවුන්ට සාපරාධී බලහත්කාර පෑ බවට අධිකරණයට ඒත්තූ ගැන්වීමට විමර්ශන නිලධාරින් උත්සාහ කර ඇති බවත් , එලෙස ත්‍රස්ත විමර්ශන නිලධාරින් කටයුතු කර ඇත්තේ මෙම සැකකරුව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් බව 
පෙනී යන්නේ යැයි ද , විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. 

එම සාක්ෂී නිර්මාණය කළ බවට පෙනී යන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා , පොලිස් නිලධාරින් ලබා දී ඇති සාක්ෂී ද පරස්පර යැයි ද පෙන්වා දුන්නේ ය. 

මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිස් පිරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් ද මෙම නියෝගයම අදාළ කර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙම නඩුවෙන් නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.