News 1st මාධ්‍යවේදීන්ගේ පෙත්සම් විභාගයට

ජූලි 09 වැනිදා පහරදීම: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට..

by Staff writer 31-01-2023 | 8:35 PM

COLOMBO ( News 1st ) - පසුගිය වසරේ ජූලි 09 වැනිදා සිදුකළ පහරදීමට අදාළව MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 8 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලුණි.

පහරකෑමට ලක්වූ සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත මෙන්ඩිස්, ටී. සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, ඩබ්ලිව්.වීරකෝන්, කේ.චන්ද්‍රන් හා ලහිරු මදුශංකආරච්චි යන මාධ්‍යවේදීන් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (31) විමසා බැලුණේ, බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

එහිදී රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත තමන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව ය.

මීට අමතරව 01 සිට 04 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් ද  පෙනී සිටින බව රජයේ නීතිඥවරයා දැනුම් දුන් අතර 01 සිට 04 දක්වා වගඋත්තරකරුවන් වන්නේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන මහත්වරුන් ය.

රජයේ නීතිඥවරයා පැවසුවේ, පොලිස්පතිවරයා ඇතුළු එම වගඋත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා ගොනුකර ඇති බව ය.

මූලික අයිතිවාසිකම් පෙත්සම්වල 05 වගඋත්තරකරු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ය.

එහිදී 05 වගඋත්තරකරු වෙනුවෙන් මූලික විරෝධතා ගොනුකරන බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

මේ අතර මාධ්‍යවේදීන් 8 දෙනා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල 06 සහ 07 වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ දුෂිත් ජෝන්දාසන් මහතා පෙනී සිටි අතර ඔහු විවෘත අධිකරණයේදී ගොනුකළ විරෝධතා අද (31) පෙත්සම්කරුවන්ට ලබා දුන්නේ ය.  

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ, උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ 01 සිට 05 දක්වා වගඋත්තරකරුවන් ගොනුකළ මූලික විරෝධතාවලට ප්‍රතිවිරෝධතා දැනටමත් ගොනුකර ඇති බව ය.

සෙසු වගඋත්තරකරුවන් ගොනු කළ විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමේ අයිතිය ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා රඳවා තබා ගත් අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජුලි මස 26 වැනිදා කරුණු තහවුරු කිරීමට නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. 

නීතිඥ චාරික වනිගබදුගේ මහතාගේ උපදෙස් මත මියුරු ඉගලහේවා, එන්.කේ අශෝක්බරන්, දමිත් කරුණාරත්න, නෙරන්ජන් අරුල්ප්‍රගාසම් යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙත්සම් ගොනුකළ මාධ්‍යවේදීන් 8 දෙනා වෙනුවෙන් පෙනී සිටියහ.