අනුරුද්ධගේ පෙත්සම විභාගයට අවසර

අනුරුද්ධ බණ්ඩාරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

by Staff writer 31-01-2023 | 6:31 PM

COLOMBO (News 1st ) - 'ගෝඨා ගෝ හෝම්' වැකිය අන්තර්ජාලයට මුදා හැරියේ යැයි චෝදනා කරමින්, තමාව අත්අඩංගුවට ගැනීම  අභියෝගයට ලක් කරමින්, සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අවසර ලබා දුන්නේ ය.

එම පෙත්සම අද (31) කැඳවනු ලැබුවේ, වසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. 

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකි. 

විනිසුරු මඩුල්ල එහිදී නිගමනය කළේ, එම අත්අඩංගුවට ගැනීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති අදහස් දැක්වීමට ඇති අයිතිය, නීතී විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටිමට ඇති අයිතිය හා සමානාත්මතාවේ අයිතිය, බැලු බැල්මට උල්ලංඝණය වී ඇති බව ය. 

ඒ,  නීතිඥ තනුක නන්දසිරි සමග පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් කළ කරුණු දැක්වීම සළකා බලමින් වන අතර  වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් අය කර දෙන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.